Friday, May 22, 2015

සුනිල් එදිරිසිංහ - ජීවිතය පිළිබද ඇසු නොඇසූ ස්වරය නොහොත් "අටවෙනි ස්වරය"

ගීතය තරම් ජීවිතයේ මතකය හා රැදුනු තවත් කලා මාධ්‍යක් නොවන්නේය ..එයට හේතුව ගීතය අපේ සිත්වල රැදී පවතින්නේ ජීවිත මතකයන් සමග නිසාය ..

සුනිල් එදිරිසිංහ වූ කලී එවන්වූ වියමනක ජීවිතය පිළිබද මතක පොතකි ..සත්තකින්ම ඔහු ජීවිතය පිළිබද ඇසු නොඇසූ ස්වරය නොහොත් අටවන ස්වරයයි


සුනිල් පිළිබද මගේ මුල්ම මතකය දිව යන්නේ "කුඩා ගමේ මද්දහන "ටයි ..එය ප්‍රේම විරහව වෙනුවෙන් ගෙතුනු සම්ප්‍රදායික මෙන්ම පශ්චාත් නුතන අත්දකීමේද ප්‍රේමනීය හඩයි ..

ධර්මසිරි ගමගේ මේ ලියු පද ,වික්ටර් රත්නායකයන්ගේ සප්ත ස්වරය ,සුනිල් ගේ විරහ හඩ නැවත කොහේ හෝ ඒ ආකාරයෙන්ම නම් ප්‍රති නිර්මාණය නොවනු ඇත ..ගීතයක් සදාකාලික වන්නේ මේ අර්ථයෙනි ..කුඩා ගමේ එවන් සදාකාලික ගීතයකි




ජීවිත යථාර්තය හා නොබැදුණු ගීතය අර්ථ විරහිත හිස් වචන හා නාද පෙළකි ..සුනිලුන් ගයා ඇති බොහෝ ගී ජීවිත හා සමාජ යථාර්තය හා අත්‍යන්තයෙන් බැදී පවතී..

රජීව් වෙල්ගම විසින් ලියා ,දර්ශන රුවන් දිසානායක සංගීතවත් කල සුනිල් ගයන " මෙතරම් සියුමැලිද කළුගල් "නම් ගීතය මට ජීවිතේ පිලිබදව වූ  දාස් කැපිටෝලයකි




එම අර්ථයෙන්ම මගේ සිත සමාජ දේශපාලනිකව ස්පර්ශ කරන තවත් අපුර්ව කලාත්මක ප්‍රතිනිර්මාණයක් නම් මහින්ද චන්ද්‍රසේකර පද ලියා රෝහණ වීරසිංහ සප්ත ස්වරය මුසු කල "පැන මඩ කඩිති "ගීතයයි




සුනිල් එදිරිසිංහ ගැයූ බොහෝ ගීත මගේ රසික සිත කම්පනය කොට තිබේ ..සිය ගණනක් වූ ඒ ගී අතර මා වෙනුවෙන් ඔහු කියා ඇතැයි සිතෙන ගීතයක්ද තිබේ ..මේ ජීවිතේ මට ආදරේ හිතුන මා ගැන ආදරේ හිතුන ආදරණීය ගැහැනුන් වෙනුවෙන් මට  ලියන්නට බැරි වූ එහෙත් කුමාර සපුතන්ත්‍රී ලියු රෝහණ වීරසිංහ සංගීතවත් කල ගීතයකි



කලාවේ නියැලුණු පමණින් කෙනෙකු කලාකාරයෙකු නොවන්නේය ..ගී ගැයූ පමණින්ද  කෙනෙකු ගායකයෙක් නොවේ .කෙනෙකු ගායකයෙක් ලෙස ජීවිතය හා ලෝකය සමග සදාකාලිකව බැදී පවතින්නේ ඒ හඩ ජීවිතය හා ලෝකය පිලිබදව රස භාව ප්‍රති නිර්මාණය කරන ලද්දේ නම් පමණි ..සුනිල් එදිරිසිංහ වූ කලී ජීවිතය හා ලෝකය ප්‍රතිනිර්මාණය කල අපුර්ව රස භාවයකි